ඇනා කැතරිනා Ep: 1

Wait 5 sec.

ඇනා කැතරිනා Ep: 1මේරි සමග විවාහ වීමෙන් පසු මාගේ සුපුරුදු නිවස වූ බ්‍රේකර් වීථියේ නිවසින් ඈත්වීමට සිදුවිය. ලන්ඩන් නගරයට ආසන්නයේ නිවසක් කුලියට ගත් අප දෙදෙනා එහි පදිංචි විය. නිවසේ සිටම රෝගීන් හට ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලැබුන බැවින් මා යම්තාක් දුරකට සැනසීමෙන් සිටියෙමි. තිබූ එකම ගැටලුව නම් විවේකයක් නොමැතිකම යි. ග්‍රීෂ්ම සෘතුව අවසානයත් සමග වර්ෂාපතනය කෙමෙක් වර්ධනය වන බැවින් රෝගීන් ප්‍රමාණයද වර්ධනය විය. වැඩ අවසන් වූ මා සාලයට පැමිණ ‘ඩේලි මේල්’ පුවත්පත අතට ගත්තේ මේ දිනවල හෝම්ස් කුමක් කරනවා ඇතිද යන්න කල්පනා කරමිනි. සෝපාවේ හිඳගත් මා හට නොදැනීම නින්දගොස් තිබිණි. මේරිගේ හඬට අවදි වූ මා ඉතාමත් අලසකමින් කෑම මේසය වෙත පිය නැගුවෙමි.“ඔයා විවේකයක් ගත්තා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔහොම දිගටම වැඩ කලොත් ඔයා අසනීප වෙයි.”“ඒත් මේරි, මගේ ළඟට එන රෝගීන් අමාරුවේ දාන්න මම අකමැති බව ඔයා දන්නවනේ.” “ඒකට කමක් නෑ, හෙට බ්‍රේකර් වීථියේ ඔයාගේ මිත්‍රයාව මුනගැහිලා පොඩි විවේකයක් ගන්න. එන රෝගීන්ව එහා වීථියේ මැක්වුඩ් දොස්තර මහත්මයා වෙතට යවන්න ඔක්කොම මම සූදානම් කරලා ඉවරයි.” මට ඇය පිළිබඳ පහළ වූ හැඟීම පැවසීමට මා සතුව වචන නොවීය. කිසිවක් නොපැවසූ මා නින්දට ගියෙමි.පසුදා උදෑසන ආහාරය ගත් මා ජනේලයෙන් එළිය බැලුවේ කාලගුණ තත්වය සැක හැර දැනගැනීමටයි. වර්ෂාවක් නොවැටුනද තිබූ වැසි බර කාලගුණය හේතුවෙන් වැසි කබාය හැඳගත් මා මේරිට සුබපතා නිවසින් පිටත්වූවෙමි. වැඩි දුරක් යාමට මත්තෙන්ම කුලී රථයක් අල්ලාගැනීමට තරම් මා වාසනාවන්ත විය. කුලී රියට නැගගත් මා රියදුරුට ගමනාන්තය පවසා අතීත මතකාවර්ජනයක යෙදුනෙමි. ඉන් මගේ මතකයේ රැඳුන ප්‍රධානම නමක් වන්නේ ‘අයරින් ඇඩ්ලර්’ ය. පහසුවෙන් පරාජයට පත් නොවන මා මිත්‍ර හෝම්ස්ගේ අසීමිත හැකියාවන්ට අභියෝග කිරීමට ඇයට හැකි වීම නම් ඇත්තෙන්ම පුදුම සහගතය. කෙසේ වෙතත් හෝම්ස්ට ඇය කෙරෙහි වෛරයක් නොව ගෞරවයක් ඇතිවීම නම් පුදුමයට කරුණක් නොවේ මන්ද යත් මාද ඇය කෙරෙහි එවන් හැඟීමක් දැක්වූ බැවිනි.මා බ්‍රේකර් වීථියට පැමිණෙත්ම වර්ෂාව ආරම්භ වී තිබිණි. කුලී රියට මුදල් ගෙවූ මා වහා නිවසේ දොර වෙතට දිව ගියෙමි. අපගේ නිවසේ හිමිකාරිය, හඩ්සන් මහත්මිය පැමිණ දොර විවර කලාය.“වොට්සන් දොස්තර මහත්මයානේ. ගොඩක් කාලෙකින් නේද? මේරි නෝනා හොඳින් ඉන්නවද? මම හිතුවේ ආයෙත් අර ජරා මුඩුක්කු කොල්ලා කියලා.”“ස්තුතියි හඩ්සන් මහත්මිය, අපි නම් හොඳින් ඉන්නවා. කවුද ජිම් නේද? එහෙනම් හෝම්ස්ට අලුත් වැඩක් හම්බෙලා වගේ?” “ඒකනම් මම දන්නේ නෑ දැං දවස් ගානක් තිස්සේ කාමරේට වෙලා මොනවද කරනවා. අර කොල්ලට කියලා දුම්කොළ ගෙන්නගන්නවා. කිසි ශීලාචාර කමක් නැති එකෙක් යනකොට දොර හයියෙන් වහගෙන යන්නේ, දොර කැඩුනොත් හෝම්ස් මහත්තයාට තමා වග කියන්න වෙන්නේ.”“ඒකත් එහෙමද?” “මට නම් බයේ බෑ දොස්තර මහත්තයෝ.”හඩ්සන් මහත්මියගේ වේදනාව අසා සිටි මා උඩු මහලේ අපේ නිවස වෙත යාමට පඩිපෙළ නැංගෙමි. “එන්න වොට්සන්, දොර අගුළු දාලා නෑ.”“දෙයියෝ සාක්කි හෝම්ස්…!!!”කාමරයට ඇතුලුවත්ම මට දැනුනේ අධික සැර දුම් ගඳකි. මොහොතක් යනතුරුත් හුස්ම ගැනීම අපහසු විය. කාමරයම දුමින් වැසී තිබිණි. මා වහා ජනෙල් හැර දැමුවෙමි.උඳුනේ ගින්දර මදක් වැඩි කල මා හෝම්ස් වෙතට ගියෙමි.“කොහොමද මං ආව බව දැනගත්තේ?”“අවුරුදු ගානක් ඔබත් සමග හිටිය මට මාස කිහිපයකට ඔබ පඩිපෙළ නගින හඬ අමතක වෙයිද මිත්‍රයා…”හෝම්ස්ගේ මෙවැනි හැකියාවන් මා අමුතුවෙන් විස්තර කලයුතු නැතැයි සිතමි. මා අපගේ විවිධ පරීක්ෂණ වලදී හමුවූ කුඩා උපකරණ බඩුමුට්ටු ආදිය දමා ඇති අල්මාරිය වෙත ගියෙමි. එහි ඉහළ තට්ටුවේ තිබූ අයරින් ඇඩ්ලර් විසින් එවා තිබූ කුඩා පෙට්ටිය වෙත මාගේ නෙත යොමු විය.“ඔව් වොට්සන්, ඇයනම් ඇත්තටම විශිෂ්ඨ ගැහැණියක්.”මගේ සිතේ තිබූ සියල්ල හෝම්ස් වචන කිහිපයකට පෙරලා පැවසුවේය.“ඒක ඇත්ත. ඉතින් හෝම්ස් කොහොමද අලුත් පරීක්ෂණය?”“ඒකනම් විශිෂ්ඨයි වොට්සන්, මට අද පිරිසිදු ඉන්දියානු දුම්කොළ ටිකක් හම්බුනා, දුම්කොළ ගැන මම ලියන පොත් පිංචට නියම පිටුවක් ඒක එකතු කරයි.”“මම ඇහුවේ එහෙම දෙයක් ගැන නවෙයි හෝම්ස්, අපරාධ පරීක්ෂණයක් හම්බුනේ නැද්ද අලුතෙන්.?”“නෑ මිත්‍රයා. මේ වැස්සත් එක්ක අපරාධකරුවන් කම්මැලි වෙලා මට හිතෙන්නේ.”“මෙසේ වීම නම්‍ යහපත් නොවන බව මා දැන සිටියෙමි. ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන හෝම්ස්ගේ මොළයට මෙවන් විවේකයක් ලැබීමෙන් ඔහු මානසික රෝගියෙකු හෝ එය වලක්වාගැනීමට සිදුකරන දුම් පානයෙන් ඔහුගේ පෙනහලු නරක් වීමට ඉඩ ඇති බව මා වෛදය වරයෙකු ලෙස හොඳින් දනී. “විවේකයක් ලැබුන එකේ අලුත් කතාවක් ලියන්න අදහසක් නැද්ද වොට්සන්? අපේ ලිපිගොනු අතර බලන්න “ඒ” අකුරින් පටන් ගන්න කාන්තාවකගේ නමක් ඇති. බොස්ටන් වල සිදුවීම ඔබට මතක ඇති. ඒක දැං ලියුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”කම්මැලි කමෙන් සිටි මා හට එය නම් ඉමහත් ප්‍රීතියක් ගෙන දුනි. මා වහා ඒ ලිපිගොනුව සොයා මේසය මත දිගහැරීමි.” ‘ඇනා කැතරිනා’ මට මතකයි මේ කතාව ඒත් තාමත් මට නොතේරෙන තැන් තියනවා මේකේ.”“ඕකේ තියන පැටලිලි සහගත තැන් මං විස්තර කරන්නම්,මේක ටිකක් සරල හින්දා ඉක්මනට කතාව ලියාගත්තොත් අපිට අද හවස දක්ෂ වයලීන් වාදකයෙක් වෙන “පියරේ” ගේ ප්‍රසංගයට යාගන්න පුලුවන් වෙයි.”————————————————දෙවනි කොටසින් හමුවෙමු.රචනය Rajitha Wimukthi Kottegoda විසිනි.