ඉතිහාසයේ දරුණුතම සම්බාධක ඉරානයට පනවන බවට ඇමරිකාවෙන් නිවේදනයක්

Wait 5 sec.

ඇමරිකාව ඉරානයට එරෙහි ව උපරිම ආර්ථික සම්බාධක පැනවීමට තීරණය කරයි. ඉරානය තවදුරටත් හුදකලා කිරීම අරමුණු කරගත් මෙම ආර්ථිකමය වශයෙන් තීරණාත්මක දිනය පිළිබඳ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ඊයේ(24) සඳහන් කළේය. එමෙන්ම ඉරානයේ ගෝලීය මූල්‍ය සම්බන්ධතාවලට එරෙහි ව අඛණ්ඩ ආර්ථික ප්‍රහාර එල්ල කරමින් ඉරානය සතු සියලු ආර්ථික ජීවන මාර්ග විනාශ කර දැමීම ඇමරිකාවේ ඉලක්කය බව ඔහු පැවසීය. එමෙන්ම ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, වර්තමානයේ ඉරාන ආර්ථිකය ශක්තිමත් කරන ඩිජිටල් වත්කම්, තාක්ෂණය, රත්රන්, ගුවන් සේවා සහ නාවික කටයුතු යන ප්‍රධාන අංශ පහ ඉලක්ක කර ගනිමින් මෙම නව ආංශික සම්බාධක ක්‍රියාත්මක කරන බවය. ඉරානයට සහාය වන සියලු මූල්‍ය සම්පත් ප්‍රවේශ වසා දැමීමේ සැලසුම මේ සමග ම ආරම්භ වන බව ද එම නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම ඉරානයට මුදල් විශුද්ධිකරණය හෝ සම්බාධක මඟහැරීමට උපකාර කරන ඕනෑම ආයතනයක් ඇමරිකානු මූල්‍ය පද්ධතියෙන් ඉවත් කරනු ඇති බවට දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ. මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඊයේ(24) සඳහන් කරසිටියේ, ඇමරිකාව ඉරානය කෙරෙහි ප්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතු බවය. එමෙන්ම ඇමරිකාවේ බලපෑම් කිරීම් සහ හිරිහැර කිරීම් විධායක කටයුතු තවදුරටත් සංකීර්ණ කරනු ඇතැයි ඔහු පැවසීය.  පාකිස්ථාන යුද්ධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් Syed Asim Munir සමග ටෙහෙරානයේදී පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. ඇමරිකා-ඉරාන අවබෝධතා ගිවිසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය. පසුගිය ජුනි 18 වනදා ඇමරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර, අවසන් ගිවිසුමකට එළඹීම සඳහා දින 60ක සාකච්ඡා කාලයක් නියම වුව ද එය අගෝස්තු 17 වනදා අවසන් විය. කෙසේ වෙතත්, වර්තමානයේ යළි ගැටුම් උග්‍රවීමත් සමග සාකච්ඡා පැවැත්වීම අවිනිශ්චිත මට්ට්මක පවතී.The post ඉතිහාසයේ දරුණුතම සම්බාධක ඉරානයට පනවන බවට ඇමරිකාවෙන් නිවේදනයක් appeared first on Siyatha News.