ශංහයි සහයෝගිතා සංවිධානයේ ඉදිරි සංවර්ධනයට චීන ජනපතිගෙන් යෝජනා හතරක්

Wait 5 sec.

ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 26 වන සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං අද(1) එක් විය.අද පෙරවරුවේ කිර්ගිස්ථානයේ බිෂ්කෙක්හි හැපිනස් මාලිගයේදී ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 26 වන සමුළුව පැවැත්විණ. එහිදී චීන ජනාධිපතිවරයා සමුළුවට එක්වූ සෙසු සාමාජික රටවල නායකයින් සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටීමට එක්විය. ඉන් අනතුරුව හෙතෙම දේශනයක් සිදු කළේය. එම දේශනයේ තේමාව වූයේ ” වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ශංහයි සහයෝගිතා සංවිධානය සංවර්ධනය කරන්නෙමු” යන්නයි.ශංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර මේ වන විට වසර 25ක් ගත වී තිබේ. ගෙවුණු වසර 25 තුළ එම සංවිධානය අද්විතීය ගමන් මගක් ගෙවා ඇතැයි ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය දේශනයේදී පැවසීය. එම කාලසීමාව තුළ ශංහයි සහයෝගිතා සංවිධානය ක්‍රමයෙන් ලොව විශාලම භූමි ප්‍රමාණය, වැඩිම ජනගහනය සහ ප්‍රබලතම විභවය සතු නව මුහුණුවරක කලාපීය සහයෝගිතා සංවිධානය බවට පත්ව ඇත. එය එම සංවිධානය ලද විශිෂ්ටතම සංවර්ධන ජයග්‍රහණය බව චීන ජනපතිවරයා පෙන්වා දෙයි. වර්තමානයේ විවිධ අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ශංහයි සහයෝගිතා සංවිධානයට පැවරී ඇත්තේ වඩාත් බැරෑරුම් භුමිකාවකි. සංවිධානයේ ඉදිරි වර්ධනය වෙනුවෙන් හෙතෙම සිය දේශනයේදී යෝජනා හතරක් ද ඉදිරිපත් කළේ ය.එම යෝජනා අනුව , සංව‍ර්ධනයට මුල් තැන දෙමින් ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් වෙනුවෙන් පොදු සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කළ යුතුය. ආරක්ෂාවට ද වැදගත්කමක් දෙමින් සියලු සාමාජික රටවලට ආරක්ෂාව සැලසෙන පරිසරයක් ගොඩනැගිය යුතුය. සාමාජික රටවලට සරිලන අයුරින් අන්‍යෝන්‍ය හුවමාරු තහවුරු කරමින් අන්‍යෝන්‍ය මිත්‍රත්වය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් සකසා ගත යුතුය. එසේම කලාපීය කටයුතුවලදී සංවිධාන සාමාජිකයින් සංවාද හා උපදේශන මගින් සාධාරණ හා ක්‍රමානුකූල කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය.ශංහයි සහයෝගිතා සංවිධාන‍යේ සියලු පාර්ශ්වයන් සමග එක්ව“ශංහයි ජීවගුණය” උරුම කරගනිමින්, ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව සංවිධානය ඉදිරියට ගෙන යාමට චීනය අපේක්ෂා කරන බව චීන ජනපතිවරයා සිය දේශනයේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.The post ශංහයි සහයෝගිතා සංවිධානයේ ඉදිරි සංවර්ධනයට චීන ජනපතිගෙන් යෝජනා හතරක් appeared first on Siyatha News.