පොඩ්ඩියේ.. පොඩි අඩි තියමින් යන්න නංගියේ!.

Wait 5 sec.

යුගයේ ආදරණීය නවකතා කරු සුජීව ප්‍රසන්න ආරච්චි ලියයි.පොඩ්ඩියේ… පොඩි අඩි තියමින් යන්න නංගියේ..!නෙතූ ටික වෙලාවක් ඇගේ පෙම්වතා දෙස බලාගෙනම උන්නා.මුළු පළාතම අන්ධකාර කරගෙන එන්නේ. තව ටිකකින් මොර සූරන අනෝරාවකන් කඩාගෙන වැටෙනවා කියලා අත්දැකීමෙන් ඇය දන්නවා. දැනටමත් පරිසරය පුරා තියෙන්නේ තද වැහි මන්දාරමක්. මේ රත්නපුර මන්දාරම අද දවසටම යන්නේ නෑ කියලත් ඇය දන්නවා. වෙලාව තවමත් උදේ නමයයි. නෙතූ එල්ලගෙන උන්න රෙදි බෑග් එකට නිකමට අත තියලා බැලුවේ කුඩේ අරගෙන ආවද කියලා. පුංචි කුඩ කොටේ තියෙනවා. දැන් ඇයට සැනසීමයි. ඒත් ඒ සැනසීම විරාජ් දෙස බලද්දී නැතුව යනවා.“වැස්සකටත් එන්නේ…යන්…වීල් එකක් අරන් යන්…මෙතන ඉඳලා පැය බාගයයි…”විරාජ් මේ අද කතා කරන්නේ කහවත්ත ලැගුම් හලකට යන්නයි. ඒත් නෙතූ අද රත්නපුර ටවුමට ආවේ වැඩ ගොඩක් කරගන්නයි. අප්පච්චිගේ බෙහෙත් ටික ඉවරවෙලා. ඒක ඔසුසලට ගිහින් ගන්න ඕන. ගෙදර උයන බඩු සේරම ඉවරවෙලා. හාල් ඇටයක්වත් නෑ. උදේ ඇය ආවෙත් අප්පච්චිට ගුණවතී නැන්දගේ ගෙදරින් ඉඳිආප්පයි පොල් මැල්ලුමයි අරන් ගෙනත් තියලයි. අයියා සල්ලි වගයක් වෙස්ටන් යුනියන් එකට දාලා කියලා කෙල්ලට කතා කරලා කිව්වා. සම්පත් එකට ගිහින් ඒක ගන්නත් ඕන. මේ හැමදේම කරන්න හිතාගෙන ආපු කෙල්ලට අද ලැගුම් හලකට යන්නයි විරාජ් කතා කරන්නේ.“කන්න වගේ බලාගෙන ඉන්නේ මොකද…එනවද නැද්ද…”ඇය සිනාසුණා.“අ..නේ..අද මේ කවදාවත් නැතුව මොකද අනේ…එ‌හම නෙමේ…අද මට වැඩ ගොඩක් තියෙනවා…මාත් එක්ක රවුමක් යන්…ඕනනම් අපි දවල්ට සිරිපා රොස්ටොරන්ට් එකට ගිහින් එකට ලන්ච් ගමු…මං ගා..නේ..”විරාජ් අත අරහෙට මෙහෙට කලේ අනේ පලයන් කියන්න වගේ.“කෙහෙල්මලක් කියවන්නේ නැතුව එනවා හලෝ…මේ වැස්සේ කොහේ රවුම් ගහන්නද…”“අ..නේ…”“බ..ම්..බු..ව..ක්..ද කරන්නේ…තමුසෙට එන්න බැරිනම් බම්බු ගහගන්නවා…මම යනවා…වෙන වැඩ නැතුවට…”නෙතූ ටික වෙලාවක් බලාගෙන උන්නා. අර වචන ටික ඇය ආයෙත් ප්‍රතිරාවය කළා. ‘තමුසෙට එන්න බැරිනම් බම්බු ගහනවා…’ මේ වචන මේ ජීවිතේ පුරාම ඇහෙයි නේද කියලත් ඇයට හිතුණා.“අ..ද මාත් එක්ක යන්…”ඇය හිමිහිට ඇහුවා.“යනවා හලෝ යන්න…”විරාජ් බස් නැවතුමෙන් එහාට ගියේ අත තිබූ දුරකථනය ඔබමින්මයි. නෙතූ සැලුනේ නෑ. එහෙමම උන්නා. ‘කෙනෙක් යනවා නම්…එයාට යන්නම ඕනනම්…තියාගන්නත් අමාරැනම්…යන්න දෙන්න… එයා අද නැතත් කවදාහරි යනවා…’ ඇයට මේ වචන කවුරැහරි කන අස්සේ ඉඳලා කියනවා වගේ ඇහුණා.“ඔ..ව්.එයාට යන්නම ඕනනම් එයා අද නැතත් කවදාහරි යනවා…බ..ම්..බු ගහගන්නවා ඕයි කියලා යනවා…ඒක තමා ඇත්ත…ජීවිතේ කාලයක් ගියාට පස්සේ බම්බු ගහගන්න කියලා ගියොත් කාටම මං කියන්නේ….”ඇය මොහොතක් තනිවම උන්නා. ඒත් සමගම රත්නපුර නගරය දෙවනත් කරමින් මහ වැසි කඩාගෙන වැටුණා. ඇය ඒ අදහාගන්න බැරි වැස්ස දෙස ටික වෙලාවක් බලාගෙනම උන්නා. හිතාගන්න බැරි වැහි සීතලක් විවෘත බස් නැවතුමට කඩාගෙන එනවා වගේ දැනෙන්නේ. මේ වැස්ස පායන්නේ නෑ කියලා ඇය දන්නවා. පායන්න ඕනෙත් නෑ. කඩාවැටෙන මේ මහා වැස්සේ සීතලේ ලැගුම්හලකට ගිහින් මෙච්චර කාලයක් පිරිසිදුව රැකගත්ත යෙෳවනය අපිරිසිදු කරගෙන ඇති තේරැම මොකක්ද කියලත් ඇයට දැන් හිතෙනවා. ‘ඔයා අද විතරක් නෙමේ…දවස් ගාණක් මෙතනට මාව ඇදගෙන යන්න ලොකු උත්සාහයක් කළා… එහෙම යන්න ඕනම කියමුකෝ…ඒත් ඇයි ඔයාට බැරි මාත් එක්කත් රවුමක් ගහන්න…මම මාව කාටවත් පාවිච්චි වෙන්න ඉඩක් තියන්නේ නෑ…ඒක නෙමේ ආදරය කියන්නේ…පාවිච්චි කරන්නේ බඩු…ජීවිත නෙමේ…’ අඩුම තරමේ විනාඩි විස්සක් විතර ඇය වැස්ස දෙස බලාගෙන බරපතල විදිහට මේ දේවල් හිතුවා.හිතට අමුතුවෙන් පෑදෙන්න දෙයක් නෑ. ඇය හිත පාදාගෙනමයි විරාජ් එක්ක අර ගමන නොගියේ.‌නෙතූ පොඩි කුඩය ගෙන ඉහලා ගත්තා. කඩාගෙන වැටෙන අනෝරා වැස්ස පොඩි කුඩ කබලෙන් මුවා කරන්න හිතන එකත් බොරැවක්. ඒත් නවතින්න බෑ. මේ නගරයෙන් ඉක්මනට යන්නයි ඕන. ආයේ ටික දවකට ටවුමට එන්නේ නෑ කියලා ඇය හිතාගත්තා. ‘ගන්න තියෙන දෙයක් එකපාරම අරගෙන වීල් එකකින්ම ගෙදර යනවා…ආ‌යේ මාසෙකට එන්නේ නෑ…’ නෙතූ සිතාගත්තා.මේ නගරය හරි ගිනියම්. මල්පෙතිවලට එහෙමම රැදෙන්න බෑ. ගිනි හුළඟට කරවෙනවා. ඇය මේ ඇත්ත තේරැම් අරන් උන්නේ.බැංකුවට යද්දී කෙල්ලගේ සායේ වැහි වතුර ඉහිලා. මේ වැහි වතුර ටික පිරිසිදුයි කියලා ඇයට හිතුණා. අයියා රැපියල් පහළොස්දාහක් වෙස්ටන් යුනියන් එකට එවලා තිබුණා. ඒක ගත්ත ගමන් ඇය බැංකුවේ ඉඳලම අයියාට ඇමතුමක් ගත්තා.“මං සල්ලි ගත්තා අයියේ…පින් හොඳේ…”“අනේ පලයන් යන්න කෙල්ල…ඔය බෑන්ක් එකේද…”“ම්…කෑවද…”“තවම නෑ නංගී…අප්පච්චී සනීපෙන්ද…”“දැන් ටිකක් අඩුයි…බ‌ෙහත් ටික දෙනවනේ…”“ම්..පරිස්සමින් ගෙදර යන්න…”“හා..බුදු සරණයි…කන්න හොඳේ…“දැන් ඇයට සැනසීමයි. ‘ඔයාගේ නංගි පරිස්සමින්ම ගෙදර යනවා…’ ඇය ඒක හිතින් කිව්වා. එහෙම නොවුණානම් හරියට දුකත් හිතෙයි කියලා කෙල්ලට හිතෙනවා.අප්පච්චිගේ බෙහෙත් ටික ගත්තාම නෙතූට හරි සතුටුයි. එහෙමම ඇය මාකට් එකට ඇවිත් බඩු ටිකක් ගන්නවා. බඩු මළු දෙක ටිකක් බර නිසාම ඇය මාකට් එක ළගින් ත්‍රීවීල් එකක් කතා කරගන්නවා. මේ වැස්සේ බඩු මළුත් උස්සගෙන බස් එකේ යන එක දුකක්. ඇරත් ටවුමෙන් ඉක්මනට පිටවෙන්නයි ඇයට ඕන.මේ දවස්වල නෙතූ ළමා පුවත්පතකට ලිපි මාලාවක් ලියනවා. ලියන කොළ ඉවරවෙලා. ඒ නිසා ඇය පොත් හලට ගිහින් ලියන කොළ මිටියකුයි පෑන් දෙකකුයිත් ගන්නවා. මාසෙකට ඒකෙන් ඇයට රැපියල් හත් අට දාහක් ලැබෙනවා. ඒකත් කෙල්ලට මහ ලොකු දෙයක්.හැමදේම කරගෙන මහ වැස්සේ ටවුමෙන් පිටවෙනකොට නෙතූගේ හිතට මොකක්ද සැනසීමක් දැනුණා. විරාජ් කතාකරපු වෙලාවේ ලැගුම් හලට ගියානම් ඒ සතුට මේ වැස්සත් එක්කම දියවෙලා යයි නේද කියලා ඇයට හිතුණා. දියවෙන සතුටකට වඩා හිතේ බරට බහින සතුටක් උතුම්. ඇයට එහෙමයි හිතෙන්නේ.ඇය ගෙදරට යනකොට කොස්වතුඔය පොඩි සාදු අප්පච්චිව බලන්න ගෙදරට වැඩම කරලා. කොස්වතුඔය පොඩි සාදු අප්පච්චිට හරි ආදරෙයි.උන්නාන්සේ මේ දවස්වල කහවත්තේ මල් වරැසා මළුවේ වැඩ ඉන්නේ. නෙතූ දවසක් දෙකක් හීලත් හදාගෙන ගියා උන්නාන්සේ හමුවෙන්න. චීවරය දාගත්තත් නෑකමට උන්නාන්සේ නෙතූගේ අයියා වෙන කෙනක්.“අ..නේ අපේ පොඩි හාමුදුරැවොනේ…දැන්ද වැඩියේ හාමුදුරැවනේ…”පොඩි හාමුදුරැවෝ සිදුහත් කුමාරයා වගේ හිනාවුණා.“ටිකක් වෙලා නංගී…ටවුමට ගියාද..”“අ‌..නේ ඔව් පොඩි හාමුදුරැවනේ…අයියා සල්ලි වගයක් එවලා…ඒකත් අරන් මේ බඩු ටිකකුත් අරන් ආවා…අපේ හාමුදුරැවෝ දවල් දානේ ටිකක් වළඳලාම යමුකෝ…”පොඩි හාමුදුරැවෝ සිනාසුණා. මේ පුංචි ගෙදරින් පොඩි හාමුදුරැවෝ අනන්තවත් දානේ වළඳලා තියෙනවා.“ඔය තියෙන දෙයක් වැළඳමුකෝ නංගී එහෙනම්…”“අප්පච්චි එහෙනම් පොඩි හාමුදුරැවෝ එක්ක කතා කර කර ඉන්න…මං ගිලන්පස ටිකක් හදාගෙන එන්නම්…”ඇය ඉගුරැ තේ ටිකක් රහට හැදුවා. ගිහින් පිළිගැන්වූවා. පස්සේ ඉක්මනට දවල් දානේ ටිකක් පිළියෙල කරන්න පටන් ගත්තා. අද විරාජ් එක්ක ගියානම් මේ තරම් පිනක් දහමක් කරගන්න තිබ්බ අවස්ථාව නැතිවෙනවා නේද කියලා නෙතූ සිතුවා. ඒත් සමගම හිතට මහා පහන් හැගීමක් ආවා. ‘පවට යන හිත පාලනය කරගත්තාම පිනට දහමට ඇදෙන හිත හරිම සිරියාවයි…සබ්බ පාපස්ස අකරණං…කුසලස්ස උපසම්පදා…සචිත්තපරියෝ දපණං…ඒතං බුද්ධානුසාසනං…’ නෙතූ දවල් දානෙට බෝංචි තෙම්පරාදුව හදන ගමන් හිතුවා. පුංචි මේසයට දවල් දානේ වෑංජන ටික පේවෙලා වගේ තියලා ඇය අවසානයට සුදු කැකුළු බත් බන්දේසිය අරගෙන ආවා. දුම් දමන බත් එකයි තම හිතයි එක වගේ සිරියාවයි කියලා නෙතූට හිතුනා.“අපේ හාමුදුරැවනේ දානේ ටික ලෑස්තියි…ගොඩක් හැදුවේ නෑ…ඔබ වහන්සේ මාළු කෑල්ලක්වත් වළඳන්නේ නැති නිසා එළවළු පිණි ටිකක් ලෑස්ති කළා…”“නංගිගේ එකක් එක්ක දානේ වැළඳුවත් රසයි මටනම්…”ඒ කතාවට නෙතූගේ දෑස් තෙමීගෙන ගියා. ඇය හරිම ආසාවෙන් පොඩි හාමුදුරැවන්ට දානේ ටික පිළිගැන්වූවා. කිරි කොස් මාළුවක්, බෝංචි තෙම්පරාදුවක්, දඹල බැදුමක්, ගොටු කොළ සම්බෝලයක් එක්කයි ඇය දානේ පිළිගැන්වූයේ. එහා ගෙදර සුනීතක්කත් අතුරැපසට කියලා ගස්ලබු කපාගෙන ආවා.පොඩි හාමුදුරැවෝ වැඩියේ නෙතූටත් අප්පච්චිටත් පිරිත් කියලා පිරිත් නූලකුත් බැඳලයි. ‘දැන් ආරක්ෂාවයි…” ඇයට හිතුණා.නෙතූ පුංචි කුස්සියේ ඉඳගෙන බත් කටක් කෑවේ හරිම සැනසීමකින්. ඒ වෙද්දීත් මහ වැස්ස පායලා නෑ. දෙකට විතරත් තිබුනේ තද වැහි අන්ධකාරයක්. ඇය නිස්කලංකයේ ජනේලය ළගට වෙලා මහ වැස්ස වහින අපූරැව දෙස බලාගෙන උන්නා.“ජීවිතේ මෙහෙම හොඳයි…ඔයාට පිළිවෙලකට ලියුමකින්ම කියනවා…අපි අතර ආයේ කිසිම සම්බන්ධයක් ඕන නෑ…පොඩි අඩි තියලා යන්න මම කැමතියි…හිමිහිට ගියොත් ගොඩක් දේවල් ලැබෙන්නේ නෑ… ඒත් මොනවා නැතත් පොඩි සැනසීමක් දැනෙයි….ඒකට මම ආසයි…ගොඩක් ආසයි…”නෙතූ මෘදුව හිතුවා.මම ඔබට කියන්නෙත් ඒකයි. පොඩි අඩි තියමින් යන්න. ගොඩක් දේවල් ලැබෙන එකක් නෑ. ඒත් මොනවා නැතත් සැනසීම තියෙයි. මේ දවස්වල ඔයා ලොකු පරිස්සමකින් ජීවත් වෙන්නේ නෑ කියලා මට ආරංචි තියෙනවා. ඒකයි මේක ලියන්න හිතුවේ.බුදු සරණයි.සුජීව ප්‍රසන්න ආරච්චි ලියයි.©fb/Sujeewa Prasanna Arachchi